Sankha Muthu Poruthotage Ph.D.
5 min readApr 20, 2024

--

දයාබර අනුර ,

කාලෙකට පස්සේ ලියුමක් ලියන්න හිතුනා. සමහර වෙලාවට හිතේ තියන ප්‍රශ්න ලියල දැම්මම යම්කිසි සහනයක් දැනෙනවා. කඩ්ඩෙන් කිවුවොත් ඒකෙ therapeutic value එකක් තියනවා. සමහර විට ඒක හින්ද වෙන්නැති මේක ලියන්න හිතුනේ.

මුලින්ම කියන්න ඕනේ මම කිසිම දේශපාලන පක්ෂයකට ඍජුව හෝ වක්‍රව සම්බන්ද නැහැ. මම සමාජ මාද්‍ය හරහා මගේ දේශපාලන මත ප්‍රකාශ කරලත් නැහැ, අවුරුදු සැහෙන්න ගානකට. ඒක හින්ද මේක කාගෙවත් කොන්ත්‍රාත් එකක්වත් කුමන්ත්‍රණයක්වත් නෙවෙයි.

මම ඔහේ පාවෙන ඡන්දයක්. ඒ ඡන්දය සමහර වෙලාවට ඇත්තටම ප්‍රකාශ නොවුනත්, මති මතාන්ත්‍රිකව 2005 දී මහින්දටත් (ශ්‍රීලනිප තිබුණු පවුල් නැබුරුව හින්දා) 2009 දීත් මහින්දටත් (හරිම අමාරු තීරණයක්. සරත් ෆොන්සේකා ගැන හොඳ පැහැදීමකුත්, මහින්දගේ එන පොට හොද නැති බව දැනුනත්, මහින්දගේ CV එක බලලා මනුස්සයට තව chance එකක් deserving වගේ හැගීමක් තිබ්‍බා) 2015 මෛත්‍රීටත් (මහින්ද විරෝධි ඡන්දයක්) 2019 සජිත්ටත් (රාජපක්ෂ විරෝධි ඡන්දයක්) දෝලනය උනා.

අවාසනාවකට ඒ ඡන්දය මේ පාරත් තාම දෝලනය වෙනවා. හිත කියනවා අනුර අනුර කියලා හැබැයි මොලේ කියනවා තව analyze කරපන්, තව analyze කරපන් කියලා. මහා විශාල කරදරයක්. ඇත්තටම…

තව ඉල්ලීමක් කරන්න තියනවා. 2005ට පස්සේ, රාජපක්ෂ විරෝදී ඕනෑම මත දරන්නෙක්ට දේශ ද්‍රෝහී, බෞද්ධ විරෝදී, ඇමරිකානු ගැති, NGO කුක්කෙක් කියලා label එකක් අලවලා ඒ මතය නසරාණි (Nullify) කරලා දාන political strategy එකක් තිබුනා. එකේ කොන්ත්‍රාත් එක ලීඩ් කලේ ලිං මැඩි විමල් කියල අපි ඔක්කොම දන්නවා.

මට පොඩි බයක් තියනවා. ඒ විදිහටම JVP/NPP ගැන විවේචන කරන අයට හොරකමට කැමති, තියන පාලනයට ගැති, වැඩකරන සාමාන්‍ය ජනයාට විරොධී, ජාවාරම්කාර ඩීල් කාරයෙක් කියලා label එකක් වදිනවද කියලා. හැබැයි අනුර, මම අවංකවම විශ්වාස කරනවා එහෙම කරන එක හොද නැහැ, ඒක වැරදියි කියලා ඔයා ඔයාට support කරන අයට කියයි කියලා.

මම මාතෘකාවට බහින්න ඉස්සෙල්ලා තව චුට්ටි කාරණාවක් කියන්නම්. මම ඇත්තටම විශ්වාස කරනවා JVP/NPP leadership level එකේ අති බහුතරයක් මේ රට කොහොමහරි ගොඩ දාන්න ඕනේ කියන දැඩි අධිෂ්ඨානයක ඉන්නවා කියලා. ඒක අපි ඔයා කතා කරන විදිහෙන් අත්දකිනවා. ඔයා ඔයාගේ ගමේදී කරපු කතාව, මේ රටේ දේශපාලකයෙක් කරපු හොදම කතාවක් වෙන්න ඕනේ. ඒක කොච්චර අවංක නිර්ව්‍යාජ කතාවක්ද, ඒකෙ කොච්චර රට ගැන ආදරයක්, මානව දයාවක් (Unconditional love for country and its people) ගැබ් වෙලා තිබුනද, ඒක අහල මගේ හිත කීරි ගැහුනා. ඒ වගේ feeling එකක් ඊට කලින් ආවේ Gota Go ගමේ එක දවසක් අපි දහස් ගානක් එකට ජාතික ගීය කියපු වෙලේ. ඊටත් කලින් ඒ feeling එක ආවේ Obama 2008දී democratic nomination එක දිනලා කරපු කතාව අහලා. ඉතින් ඒක හින්ද මේක ඕගොල්ලන්ගේ අරමුණ ගැන කරන විවේචනයක්වත් සැක පහල කිරීමකුත් නෙවෙයි. මේක ඕගොල්ලන්ගේ ක්‍රමවේදය ගැන තියන ගැටළුවක් නිසා කරන විවේචනයක්.

මේක අමු අමුවෙන්ම කියලා දැම්මොත්, ඔයගොල්ලන්ගේ ආර්ථික වැඩපිළිවෙල ගැන මට කිසිම පැහැදීමක් නැහැ. ඒකට මූලිකම හේතුව තමි ඔයගොල්ලන්ගේ හිතෙත් ඒක ගැන පැහැදිලි චිත්‍රයක් නැති එක. මම හිතන්නේ ඔයගොල්ලන්ව follow කරන ගොඩ දෙනෙක්ට මේ ප්‍රශ්නේ තේරෙනවා. මම උදාහරණ ටිකක් කියන්නම්.

ටිල්වින් සහෝදරයා ලඟදි ප්‍රකාශයක් කලා. එකක් එයා කිව්වා JVP, NPP ආසන්න වශයෙන් සමානයි සහ JVP කියන්නේ Marks & Lenin ගෙ මතවාදය පිලිගන්න පක්ෂයක් කියලා. ඒ කියන්නේ එය හිතන විදිහට NPP එක socialist economic model එකක් ක්‍රියාත්මක කරන්න ඉන්නවා කියන එක.

දෙවෙනි ප්‍රකාශය තමයි එයා කියනවා NPP එක මේ සමාජය බලගන්වලා ගල් පර්වතයක් උනත් අස්වද්දන සමාජයක් ඇති කරනවා කියලා. මේ ප්‍රකාශයේ වචනාන්විත හරය (literal meaning) පැත්තකට දැම්මත්, මේ ප්‍රකාශයෙන් හැඟෙන්නේ රජය විසින් තීරණය කරන ආර්ථික කර්තව්‍ය සඳහා සමාජය යොදාගැනීම වගේ අර්ථයක්. (mobilizing society on economics activities determined by the government) මේක ඉතා පැහැදිලි කොමුනිස්ට් අදහසක්. මේ ප්‍රකාශ වලින් අදහස් කලේ වෙන දෙයක් කියල ඕනේ නම් කියන්න පුළුවන්, හබැයි මට නම් ඒ සහෝදරයාගේ හෘද සාක්ෂිය ඒ ප්‍රකාශ වලින් පැහැදිලිව පේනවා.

ඔය අතරේ සුනිල් සහෝදරයා කෙලින්ම interview එකක කියනවා, ඔව් අපි සමාජවාදය පිළිගන්න පක්ෂයක් කියලා. එක අහල නම් හීන් දාඩියත් දැම්මා.

ඔය අතරේ නලින්ද සහෝදරයා කියනවා, අපේ economic model එක ඉන්දියවෙවත් වියට්නාමෙවත් සින්ගප්පුරුවෙවත් economic model එකක් නෙවෙයි ඒක අපිටම අවේනික උන model එකක් කියලා. ඒක අහලනම් මට කැරකිල්ල වගේ හැදුනා. මොකද මිට කලින් home grown economic මොඩලයක් ගැන කතා කලේ අජිත් නිවාඩ් කබ්රාල් හින්දා!

ඔය අතරේ සමන්ත විද්‍යාරත්න වගේ ආර්ථිකය ගැන ගැලරියට මෝඩ චූන් දෙන අයත් ඉන්නවා. එයාල ගැන කතා කරලා මම මගේවත් අනුරගේවත් කාලය නාස්ති කරන්නේ නැහැ.

මම හිතන විදිහට ටිකක් පරක්කු උනත් (ගොඩක් කියලත් හිතන්න පුළුවන්) NPP එකේ leadership එක, ඒකේ high level economic vision එක decide කරන එක අත්‍යවශ්‍යය කාරණාවක්. මොකද දැන් ඔයගොල්ලෝ කතා කරන්නේ එක්කෝ සමාජවාදය ගැන නැත්නම් economic model එකක් නොවන economic model එකක් ගැන.

මට සමහර වෙලාවට ඇහෙනවා සමහරු කියනවා (කවුද කියල හරියටම මතක නැහැ) ඕකට මොන නම දැම්මත් මොකද, ඇයි ඔය නම් පිටිපස්සේ යන්නේ කයලා. හැබැයි ඒ ප්‍රශ්නය අහන අයට නොතේරෙන දෙයක් තමයි economic model එක පිටිපස්සේ සෑම ආර්ථිකය හා බැඳිච්ච කාරණාවක් සම්බන්ධයෙන්ම කොහොමද ක්‍රියාකළ යුත්තේ කියන ක්‍රමවේදය පැහැදිලිව සකස් වෙලා තියනවා කියන එක. ඒක හින්ද හැම තිස්සෙම උත්තර හොයා හොයා ඉන්න අවශ්‍ය නැහැ කියන එක. ක්‍රියාත්මක කිරීම පමණයි කල යුත්තේ කියන එක. (execution focus, not solution focus) පැහැදිලි economic model එකක් නැති කමින් ඔයගොල්ලෝ කොච්චර අමාරුවේ වැටෙනවද කියල මම පස්සේ විස්තර ඇතුව පැහැදිලි කරන්නම්.

අනුර, මම පොඩ්ඩක් හිතුවා. මේ හැම ආර්ථික මොඩලයකම අවසාන ඉලක්කය මොකක් වෙන්න ඇතිද කියලා. මම හිතන විදිහට ඒක “මුළු සමාජයේම ආර්ථික ප්‍රගමනය” වගේ දෙයක් වෙන්න ඕනේ. මට හිතන්න අමාරුයි කවුරුහරි න්‍යායක් ඉදිරිපත් කරයි කියලා “සුළුතරයකගේ ආර්ථික අභිවර්ධිය” වගේ අරමුණක් තියාගෙන.

ඉතින් සමාජවාදය වගේම ධනවාදයේත් අවසාන අරමුණ මේ මුළු සමාජයම ආර්ථික වශයෙන් ඉදිරියට ගෙනයාම වෙන්න ඕනේ. හබැයි අරමුණ ළඟා කරගන්න ක්‍රමය තමයි එකිනෙකට පරස්පර.

අනුර, මම දන්නා විදිහට නම් විවෘත වෙළදපල මත පදනම් වෙච්ච පුද්ගලික ප්‍රාග්ධනය හා ව්‍යවාසාය මත කේන්ද්‍රගත උන ආර්ථික මොඩලයක් නැතුව අපිට ඕනේ සමාජ සාධාරණත්වය ඇති කරන්න බැහැ. වහෙන් හොරෝ නැතුව කියනවනම් මේ කියන්නේ ධනවාදය ගැන. Capitalist කියන වචනයේ සිංහල අර්ථය ධනවාදය කියලා පරිවර්තනය කරපු කෙනා නම් තමන්ගේ අරමුණ නියම විදිහට ඉෂ්ඨ කරගෙන තියනවා. ලෝකෙම සැහෙන්න දුරකට හොඳ results පෙන්නලා තියන ආර්ථික model එකට ධනවාදය කියලා හිරිකිත නමක් දීල එක එතැනින්ම knock out කරලා දාලා තියනවා.

ඒක හින්ද මම මේකට නිදහස් වෙළඳපොල මොඩලය (නි.වෙ.මො.) කියල කියන්නම්.

මම හිතන්නේ මේ වෙලාවේ NPP එක ගන්න ඕනේ සාදාරණම තීරණය තමයි (නි.වෙ.මො.) ට හැකි තරම් අනුගත වීම. මම හිතන්නේ වෙන කිසිම තීරණයක්, ඒ කියන්නේ සමාජවාදය හෝ, own model හෝ, home grown model, ජනතාවගේ පැත්තෙන් පට්ට අසාධාරණයි. ඔයා කාටත් වඩා හොදටම දන්නවා අනුර, අපි අපේ දේශපාලකයන්ගේ හොර මැරකම් වලින් වගේම මෝඩ, තකතීරු, අහංකාර, පොර මානසිකත්වය (egoism) නිසා ගත්ත තීරණ වලිනුත් සැහෙන්න බැට කාල තියනවා. එක හින්ද NPP එකට මේ රට වෙනුවෙන් ගන්න පුළුවන් සාධාරණම ආර්ථික තීරණය තමයි අපේ කලාපේ රටවල් බොහොමයක් ඉතා සාර්ථක ප්‍රතිපල ලගාකරගත් (නි.වෙ.මො.). මම හිතනවා ඒ පැහැදිලි තීරණය ඔයගොල්ලෝ ඉතාම ලඟදි ගනී කියලා. ඒ වගේම මම විශ්වාස කරනවා (නි.වෙ.මො.) කියන්නේ මොකක්ද, ඒකෙ වාසි අවාසි මොනවද, එකට අනුගත වෙන්නේ කොහොමද කියලා මේ රටේ මහජනතාවට කියල දෙන්න පුළුවන් එකම නායකයා ඔයා කියලා.

මම හිතන්නේ මම මේ ලියුම ලියුවේ ඒක ඔයා කරයි කියලා පුංචි බලාපොරොත්තුවකුත් තියාගෙන වෙන්න ඇති.

මීට,

ඔබට හිතවත් සංඛ

--

--